Saturday, February 9, 2013

මගේ තාත්තා…..



පුංචි කාලේ වගේ රචනාවක් ලියන්න හිතුනා, හැබැයි පුංචි කාලෙට වඩා ගොඩාක් දේවල් මම දැන් මගේ තාත්ත ගැන දන්න නිසා මට හිතුනා ඒක අමුතුම විදිහකට ලියන්න...
මගේ තාත්ති ඉපදිලා තියෙන්නෙ 1952.12.19 වෙනිදා, සල්ලි බලය දෙකම තිබුන පවුලක තුන්වෙනියා විදිහට. මම කාල වකවානු දන්නේ නැති උනත් පස්සෙ තාත්තිව හදල තියෙන්නෙ තාත්තිගේ අම්මගේ පුංචි අම්ම එයාට දරුවෝ හිටපු නැති නිසාලු.
කොහොමහරි ඇය තවත් දරුවන් එහෙම හදාගන්න අරගෙන තියනවා. එහෙම ගත්ත එක නැන්ද කෙනෙක් කසාද බැන්දල ඉදල තියෙන්නෙ බිබිලේ. ඉතින් තාත්ති නිතර නිතර එහේ ගියා බව තමයි ආරංචිය, අන්තිමටනම් අක්ක බලන්න නෙමෙයි, ඊට එහා පැත්තෙ ගෙදර ගෑණු දරුව බලන්න. කොහොමහරි කාසදත් බැන්ද කියමුකෝ. ඔහු අදටත් බොහොම සාමකාමී ආදරේ පිරුන බැදීමකින් මගේ අම්මව බලාගන්නවා දැන් අවුරුදු 32ක්. කවදාවත් අම්මට සැර කරනවා මම දැකල නෑ. පොඩි දේකට රන්ඩු උනත් ඒවා අපි දැනගන්න කලින් යාලුයි... මේකෙන් ඉතිං කියන්න හැදුවෙ එයාල ජීවත් වෙන හැටි නෙමෙයි. අපේ තාත්ති හොද හොද වැඩ එහෙම කරල තියනවා...
තාත්තිට තියනවා පොත් සහ පත්තර තියන කඩයක්. අපේ ගෙදර ඉස්සරහමයි. මම ඉතිං පොතක් පත්තරයක් දැක්කොත් කන්න බොන්නත් ඕනි නැති කෙනෙක්. මගේ නංගි ඒකෙ අනිත් පැත්ත. පොතක් පත්තරයක් අතින්වත් අල්ලන්නෙ නෑ. ඉතින් මම ගෙදර ගිහින් ඉද්දි උදේ සේරම වැඩ තියල පත්තර ටික අරගෙන ඇවිත් කියවනවා. ඉතින් තාත්ති බනිනවා බලන්න මේ ළමය කන්නෙ බොන්නෙ මූන හෝදන්නෙවත් නැතුව කල්පනාවක් නැතුව පත්තර කියවනවා කියල. ඊට පස්සේ නංගිට බනිනවා මෙච්චර පොත් පත්තර තියනවා ආසාවට මේ ළමයා පොතක් කියවනවා මම දැකල නෑ කියල.  ඔය එකක්.
දවසක් අර ප්රසිද්ධ නිළියක් ඉන්නේ ඕෂධී හේවාමද්දුම කියල. දවසක් ඇය ඇවිල්ල කඩේට පත්තරයක් ගන්න. දැන් අපේ තාත්ති බලන් ඉන්නවලු මේ ගෑණු ළමය දිහා. එයාටත් ඉතිං විශේෂයක් නැතිව ඇතිනේ හැමෝම එයා දිහා බලන එක. පස්සෙ තාත්ති කියනවලු මම ඔයාව කොහෙහරි හොදට දැකල තියනවා, ඔයා ලොකු දුවගේ යාලුවෙක්ද නැත්නම් පොඩි දුවගේ යාලුවෙක්ද කියල, ඉතිං ඕෂධී කියනවලු "මම ඕෂධී" කියල. මොන අපේ තාත්ති දන්න ඕෂධී, ටිකකින් ඉතිං ඕෂධී සද්ද නැතිව ගියාලු. 
ඔන්න ඒලෙවල් කරන කාලේ අපේ ගෙදර නැවතිලා හිටියා මගේ හොදම යාලුවා ඉතිං තාත්තිත් හරි ආදරෙයි අපි කියන්නෙ සබී කියල. ඉතින් එයා ඒලෙවල් වලින් පස්සෙ ගෙදර ගියානෙ, දවසක් පාර දිහා බලන් හිටපු අපේ තාත්ති දුවගෙන් එනව ගෙට කලබලෙන්. අන්න සබී යනවා පාරේ එහාපැත්තෙ කියල. මමත් ඉතිං දුවන් ගියා ඉස්සරහට අපේ ගෙදර ඉස්සරහින් යද්දි මොකද එයාට එන්න බැරි කියල බලන්න. අනේ බැලින්නම් දවසක් දෙකක් අපේ ගෙදර ආපු මගේ යාලුවෙක් තාත්ති සබී එක්ක පටලගෙන.
මේකත් නම් පැටලුන කතාවක්, අපේ තාත්ති කරන්නෙ පත්තර කඩයක්නෙ, ඉතිං සමහර වයසක අන්කල්ලා ඉන්නවා උදේම පත්තරේ ගන්න ඇවිත් තාත්ති එක්කත් කදේ දාන් ඉදල යන. මයිකල් ජැක්සන් මැරුන දවසෙ ඔහොම කෙනෙක් ඉන්නවලු ඇවිත්. තාත්ති කියනවලු බලන්නකො ජැක්සන් ඇන්තනි මැරිලනේ කියල. ඔන්න ඉතිං අර මනුස්සයත් කියනවලු අනේ බලන්නකො ඉතිං වැඩි වයසකුත් නෑනේ, හොද දැනුමක් තියන නිවේදකයෙක්නේ. ඔහොම සිංහල නිවේදකයෝ දැන් කොහෙද කියල. ඔන්න එතකොට මෙච්චර වෙලා දුකෙන් ඔලුව වන වනා හිටපු තාත්ති බැලුවලු මයිකල් ජැක්සන් කවදද සිංහලෙන් නිවේදන කටයුතු කලේ කියල.. එතකොටම මතක් උනාලු අය්යෝ වැරදි නමනෙ කිව්වෙ කියල. පස්සෙ කිව්වලු නෑ නෑ මයිකල් ජැක්සන් මැරිල තියෙන්නෙ කියල.
දවසක් නංගිත් ඉන්නවලු තාත්ති එක්ක කඩේ, ආවලු රෙප් මහත්තයෙක් ඇවිත් ඇහුවලු මහත්තයා සනීපාරක්ෂක තුවා ගන්නවද කියල. තාත්ති ගත් කටටම කිව්වලු අපෝ එපා ඕව ගත්තම ගෙදරටම ඉවර වෙනවා විකුනන්න වෙන්නෙ නෑ කියල. නංගි කියනවා පොලවෙ වලක් හාරගෙන හාරගෙන යන්න හිතුනලු.
 
ඔය ඉතිං තාත්ති කරන කියන ඒවගෙන් ටිකක් විතරයි.. මේ මොනවා කිව්වත් කලත් මගේ හිතේ තාත්ති ගැන තියෙන්නෙ ලොකුම ලොකු ආදරයක්. කොච්චර උනත් අදටත් අපි ගෙදර ගියාම උදේට තාත්ති ගෙදරින් යන්න කලින් මගේයි නංගිගෙයි කාමරයට ඇවිත් අපි ලග විනාඩි 5ක් නිදාගෙනයි යන්නෙ.. තාත්ති විනාඩි 5 තමයි මගේ ජීවිතේ ගෙඩාක් ලස්සන කරන්නේ. තාමත් තාත්ති ලගට වෙලා හුරතල් වෙන්න මම ආසයි. ඔබ වගේ තාත්තෙක් ලබපු මම ගොඩාක් වාසනාවන්තයි.

30 comments:

  1. සුන්දර ලිපියක්.. තනි‍යෙන් හිනා උනා කියවල.. තාත්තට කියන්න මමත් ආද‍රෙන් මතක් කළා කියල..
    ඔන්න මම ඔය පොත් ගුල්ලි‍‍‍ගෙ එක ‍පොතක් කියවල ඉවර කළා. ‍ටෙනිසන් ‍පෙ‍ළරේරා‍ග ‘‘අබිරහස් ජීවිත තරණය” ස්තුතියි නගා ‍පොත්වලට... ම‍ගේ ‍පොත් ටික ඔයා ළගට ඒවි ලබන සති‍ යෙ නේද?

    ReplyDelete
    Replies
    1. අහා ඔයාව දැන් අපේ පවුලෙ හැමෝම වගේ අදුරනවා...ඉතින් මම කියෙව්වා ඔයාගේ කමෙන්ට් එක ස්කයිප් කතාකරන ගමන් අම්මිටයි තාත්තිටයි. ගිය පාර මම ස්වර්ණ පුස්තක සේරම ගත්ත වගේයි මතක, ලබන සතියෙ මට හම්බවෙනවා ඔයාගේ පොත් ටික...

      Delete
  2. ආදරණීය සටහනක්.. හිනාව සමග :)
    මේක කියවද්දී මටත් පොඩි කතාවක් මතක් වුනා. සංශෝධනය කරලා ලියන්න පුලුවන්ද බලන්න draft එකට දාල තිබ්බා. ඔය පොත් කඩේ තියන්නේ රත්නපුරේ නම් ගිහිල්ලත් ඇති සමහර විට. අහ්.. බිබිල කිව්වේ.. බදුල්ල පැත්තේ බිබිලද.? බලංගොඩ බිබිල ද...?

    (ඔය උදව් කරන යාලුවට කියල බ්ලොග් එකට බ්ලොගර් ෆලෝ ගැජට් එකක් එල්ල ගමු කො පුළුවන් නම්. එතකොට පෝස්ට් මග ඇරෙන්න තියන ඉඩ අඩුයි)

    ReplyDelete
    Replies
    1. රත්නපුරේ තමයි තියෙන්නෙ ඒ නිසා ගිහිල්ල ඇති. චන්දන කියල දෙන්නකො බලන්න ඒක එල්ලගන්න හැටි තරූ අක්කත් හොය හොයා තමයි කියල් දෙන්නෙ...
      බිබිල බදුල්ල පැත්තේ බිබිල තමයි උදේ ගිහින් හවස එන තරම් ගියාලු...තාමත් හැබැයි ප්‍රේමයේ අඩුවක් නම් නෑ,,,

      Delete
    2. ඔය දාල තියන්නේ. ඊයේ ආවට පස්සේ මං දැන් නේ ආයේ ආවේ. දැන් හොඳයි. :)

      Delete
  3. හයියෝ සල්ලි :) තාත්තා හරිම විනෝද කාමී වැඩ තමයි කරන්නේ නේද? මීට කලින් මේ පැත්තේ ආවද කියල මතකයක් නම් නැහැ. අහම්බෙන් වගේ අද ආවේ. කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළිගන්නවා කෝරලේ මහත්තයව, පටන් ගෙන් වැඩි දවසක් නැනේ..මම නම් ඒ පැත්තෙ යනවා තාම කමෙන්ට් කරන්න බැරි උනා.
      දැන් මේ සමනළී ගේ කමෙන්ට් එකකුත් දාල තිබුන කෝරළේ මහත්තයට හාමිනේ හම්බ උන හැටි ගැන කියල

      Delete
  4. ම්ම් මම නම් පොඩි කාලෙම අප්පච්චිගේ උණුහුම අහිමි වුනු කෙනෙක්...ඔයාට තව ගොඩාක් කාලයක් තාත්තගේ ආදරේ විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බොහොම ආදරණිය පොස්ටුවක්....අදමයි මෙහෙට ආවේ...පලවෙනි ලිපියම තාත්තා ගැන කියවන්න හම්බුනු එක ගැන සන්තෝසයි..

    ReplyDelete
    Replies
    1. අනේ සිම්බා මලයො සමාවෙන්න.... ඇත්තටම මට දැනුයි දැනුනේ ඔයාට ගොඩාක් දුක හිතෙන්න ඇති කියල. ගොඩාක් සංතෝසයි මේ පැත්තේ ආවට..දිගටම එන්නකෝ....

      Delete
  5. නියමයි අදහස් ටික.. අදමද කොහෙද මයෙ හිතේ ආවෙ... සුභ පතනවා ඔබට බ්ලොග් ලෝකේ දිගු කලක් රැඳෙන්ට හැකි වෙන්න කියල....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට මල්ලි... විස්තර දැකපු විදිහට නම් සබරගමුව පැත්තෙ කෙනෙක් ඔයත් නේද?

      Delete
  6. කතාව කියවලා මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ. දන්නවනේ මගේ තාත්තා ගැන මෙහෙම මතක මට නෑ කියලා නදිනි..

    ( අනේ නදිනියෝ පෝස්ට් ටික මිස් වෙනවා. මොකද මම හැමතිස්සේම ගූගල් රීඩර් එක බලන්නෙ නෑ. බ්ලොගර් ලිස්ට් එක විතරයි බැලෙන්නේ. බැරිද බ්ලොගර් ෆලෝව ගැජට් එකකුත් එල්ලන්න.)

    ReplyDelete
    Replies
    1. හිත රිදුනනම් සමාවෙන්න ලිහිණියෝ..... ගැජටය එල්ලලා තියෙන්නෙ මම හිතන විදිහට හරි වැඩේ, චන්දනත් දාල තියෙන්නෙ හරි කියල.... :P :P

      Delete
  7. එතකොට මෙයත් අපේ ගමේ කෙනෙක් ඈ.....

    ReplyDelete
    Replies
    1. ෂා අය්යත් රත්නපුරේද? ඊලග පාර ගෙට්ටුව කොහොමහරි රත්නපුරේට ගෙනියමු... ඒත් ඉතින් අපි මෙහෙනෙ..දුක තමයි..
      මම හිතුව අය්ය මේ පෝස්ට් එකට ගොඩාක් ආසවෙයි කියල.. පුංචි පැටියෙක් ඉන්නවනෙ...

      Delete
  8. මම නදිනිගෙ බ්ලොග් එකේ පි‍ටු එහෙමෙහෙ පෙරළනකොට දැක්කෙ මේක. හරිම ආදරණීය සටහනක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අය්යේ මේක තාම දැක්කෙ නෑ තාත්ති, මම මගේ උපන් දින වලට අම්මිටත් තාත්තිටත් කවි ලියල දෙනව ඉස්සර තාත්තිගේ ඇස්වල ඒව කියවද්දි එන කදුළු සතුට මට හරි අමුතුම හැගීමක් දෙනවා..

      Delete
    2. මගේ දුව මා ගැන ලියපුවා කියවන කොටත් මගේ ඇස් තෙත් වෙනවා. ඉතින් ඒක මට ආගන්තුක හැඟීමක් නෙවෙයි. නදිනි සමහරවිට කියවලත් ඇති ඒවායින් සමහරක්.

      තාත්තව ආදරෙන් මතක් කල බව කියන්න.

      Delete
    3. මම දැක්කා අය්යේ, කොහොමත් දූලා ගොඩාක් තාත්තිට ආදරෙයිනෙ...

      Delete
  9. නිවාඩු පාඩුවේ කියවද්දී දැක්කේ.. මට මතක්වුනේ මගේ නෝනගේ අප්පච්චි. එයත් ඔය වගේමයි. දවසක් මම මගේ නෝනා එක්ක (ඒ කාලේ වෙන්න නෝනා) යද්දී ඉස්සරහට ඇවිත් දැක්කේ නෑ වගේ ගියා. ගිහිං ගෙදරදී අම්මට කියනවලු අපේ දුව වගේ කෙනෙක් ගියා මං දැක්කා පාරේ කවුදෝ කොල්ලෙක් එක්ක.. කියල.

    ReplyDelete
    Replies
    1. ඒක නම් මරු, ගෙදර ගියාම මුකුත් කියලත් නැද්ද?

      Delete
    2. නෑ.. ගෙදර යද්දී ඒක මතකත් නෑ ලු. :)

      Delete
  10. මේක තාත්තාට පෙන්නුවේ නැද්ද ? ඒ වගේමයි තාත්තාගේ ෆොටෝ කෑල්ලකුත් මේ පෝස්ට් එකට එල්ලුවා නම් කදිමයි

    ReplyDelete
    Replies
    1. මම තාත්තිට කිව්ව ලියපු ඒවා එහෙම, අහිංසක විදිහට හිනාවෙනවා ඉතින්... ෆොටෝ එකක් නම් දාන්න මතක් උනේ නෑ..

      Delete
  11. තාත්තලා ගැන මෙහෙම වචනෙකින් දෙහෙකින් කියලා ඉවර කරන්න බෑ බං. මොනවා උණත් අන්තිම කතා දේකටනම් හිනා ගියා. ඇයි ඕෂධීගෙ සීන් එක. එදා එයාටත් වැලක් හාරන්න හිතෙන්නැති නේද? :D

    අපේ තාත්තත් සුපිරි පත්තර ලෝලියෙක් තමා. ඇයි මං?

    මං ගිය සතියේ ගියා බෙලිහුල්ඔය කැම්පස් එකේ ලයිබ්‍රියට. ටික වෙලාවක් යනකම් ගල් ගැහුණා එකේ තියෙන රාක්ක අස්සෙ තිබුණු පොත් දැක්කම. තව ටිකෙන් කරන්න ගිය වැඩෙත් අමතක වෙනවා.
    ඒ වෙලාවේ මට හිතුනේ මොකක්ද දන්නවද?
    මාව වරදකට (කළ හෝ නොකළ) හිරේ දානවනම් මේ වගේ තැනකට දානවනම් කියලා. රහට ඕනි නෑ. යාන්තම් ජීවිතේ රැක ගන්න කෑම ටිකක් තිබුනොත් ඇති.

    ReplyDelete
    Replies
    1. ඕෂධීවනම් ටිවී එකේ දකින දකින පාරක් ගානෙ අපි තාත්තිට හිනාවෙනවා
      පත්තර නම් අමුම පිස්සුවක්, අන්තිමට තියන දැන්වීම් ටිකත් කියවනවා.ඔයාව එහෙම තැනකට හිරෙ දැම්මොත් කරපු වරද මටත් කියන්න මමත් එනවා ඒකම කරලා හික්ස්.

      Delete
  12. ඔයාගෙ තාත්තිව මතක් කළා කියන්න. මාත් හැමදාම රත්නපුර පැත්තෙ කැරකෙන කෙනෙක්. සමහර විට ගිහිං ඇති. හම්බවෙලත් ඇති. කතා කරලත් ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවාරෙන්ම දැකල කතා කරල ඇති. කවුරුහරි නංගිගෙ හරි මගේ හරි වයසෙ ලමයෙක් තාත්ති එක්ක හිනා උනොත් තාත්ති හිතන්නෙ අපේ යාලුවෙක් කියලා, එහෙම කට්ටියව මතක නැති නිසා තාත්ති ඕන කෙනෙක් එක්ක හිනාවෙලා කතා කරනවා.. මගේ යාලුවෝ කොල්ලො උනත් හරි කැමති තාත්තිට..

      Delete
  13. තාත්තගෙ කථාව අද තමයි කියෙව්වෙ...ඔබේ අහිංසක ආඩම්බරය සහ පිතෘ සෙනෙහස කැටිවුන ඒ හැගීම් මේ ලියවිල්ල පුරාම මට දැනුනා...ඒ උතුම් චරිතයට දීර්ඝායුෂ පතනවා....

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...