Wednesday, February 27, 2013

සිනාසෙමුද ??

 




නගන සිනහවන්
 
නුඹට එරෙහිනම්

මොකට ලබන සතුටා,
 

ගලන කදුළුවැල්

 ඔහේ ගලයි නම්

 නැතේ කෙනෙක් නුඹටා,

 
හෙලන සුසුම් හැම

පාවී යා නම්

නුඹට කිසිත් නැතිවා,

 
දරනු කෙලෙස දැන්

අහිමි හැම දරන්

සිනාසෙමුද සැමදා...

Saturday, February 16, 2013

පාළුයි අම්මේ හරියට .........


පාළුයි අම්මේ හරියට
කවුරුත් නෑ ලග තනියට
දුක කියන්න මගෙ හිත ගැන
එන්න හිතයි මට පියඹන
 
ඕනිද ලස්සන ඇගළුම්
ලෝකෙට පෙනෙන්න පැලදුම්
ළග නැතිවම ඔබෙ උණුසුම්
මටනම් නොවටි කිසිවක්
 
එන්නද මම හෙට පියඹන්
කිසිවක් නෑ මගෙ ඉතුරුම්
ළග දැවටි ඔහෙ ඉන්නම්
බඩගිනි නෑ මට එහෙනම්
 
තුරුලට අරගෙන ඉන්න
මට බැහැ ආපහු යන්න
නුඹ වටේම සැනහෙන්න
මා ලගින්ම නුඹ ඉන්න


Thursday, February 14, 2013

විවාහ යෝජනාවක්...




හොයනවා හොද ගෑණු දරුවෙක්,
ඕනලු මල්ලිට බදින්න,
ඇහුවාම මම සුදුසුකම්  වැඩිය නෑ අක්කො කීවා
මෙන්න පහල තියනවා සුදුසුකම්,
නීල වරලක් තියෙන්න ඕනි
නාදළු තොල් පෙති තියෙන්නත් ඕනී,
මුතුවන් දත් පෙලකුත්
දේදුනු ඇහි බැමිත්
වාත්තු කලාවගේ ඡවි කලණකුත්
මිටින් ගත් හැකි ඉගසුගකුත්
රිය සක වැනි පුලුළුකුලත්
ඔන්න ඔච්චරයි ඕනි
බැලුවා දෙතුන් දෙනෙක් අදුනන
නීල වරලෙ කෑලි කෑලි පාට ගාපු විච්චූරණ
නාදළු තොල් හදන්නහැකි ඕනි තරම් තොල් සායම්
මුතු වන් දත් දාන්න හැකි පෙන්නන්ට නුඹට කලින්
දේදුනු ඇහි බැමිනම් ඔය හදන්නෙ දැන් හතර වටෙන්
ඡවි කලණට ගන්නට හැකි මාර අය්යගෙ බයෝනාව
ඉගසුග නම් ඕනි හැටියෙ ගලපගන්න පුලුවන්නෙව
රිය සක වැනි පුලුළුකුලක් කඩේ තිබේ අවැසි තරමෙ..
ඉන්නවාද දන්න කෙනෙක්
දන්නවනම් කියනවාද
නාකිවෙන්ට කලින් මූට හරි මගුලක්
කොරල දෙන්ට.... …

Wednesday, February 13, 2013

වැලන්ටයින්.....



දිනක් වෙන්කර
පෙම්වතුන් හට
අනග කුමරුනි
නුඹව රවටා...
 
පෙම මුලාකොට
හිඩැස් අතරෙන්
ඔවුනොවුන් හැම
මුලා වෙන්නා...
 
එළිය කරමින්
තරු මැදුරු හැම
උනුන් උන් හා
වැළද නටනා...
 
කුමට මිනිසුනි
ලබන කම්සැප
නුඹට බැරිකල
පිහිට නොවෙනා....

Saturday, February 9, 2013

මගේ තාත්තා…..



පුංචි කාලේ වගේ රචනාවක් ලියන්න හිතුනා, හැබැයි පුංචි කාලෙට වඩා ගොඩාක් දේවල් මම දැන් මගේ තාත්ත ගැන දන්න නිසා මට හිතුනා ඒක අමුතුම විදිහකට ලියන්න...
මගේ තාත්ති ඉපදිලා තියෙන්නෙ 1952.12.19 වෙනිදා, සල්ලි බලය දෙකම තිබුන පවුලක තුන්වෙනියා විදිහට. මම කාල වකවානු දන්නේ නැති උනත් පස්සෙ තාත්තිව හදල තියෙන්නෙ තාත්තිගේ අම්මගේ පුංචි අම්ම එයාට දරුවෝ හිටපු නැති නිසාලු.
කොහොමහරි ඇය තවත් දරුවන් එහෙම හදාගන්න අරගෙන තියනවා. එහෙම ගත්ත එක නැන්ද කෙනෙක් කසාද බැන්දල ඉදල තියෙන්නෙ බිබිලේ. ඉතින් තාත්ති නිතර නිතර එහේ ගියා බව තමයි ආරංචිය, අන්තිමටනම් අක්ක බලන්න නෙමෙයි, ඊට එහා පැත්තෙ ගෙදර ගෑණු දරුව බලන්න. කොහොමහරි කාසදත් බැන්ද කියමුකෝ. ඔහු අදටත් බොහොම සාමකාමී ආදරේ පිරුන බැදීමකින් මගේ අම්මව බලාගන්නවා දැන් අවුරුදු 32ක්. කවදාවත් අම්මට සැර කරනවා මම දැකල නෑ. පොඩි දේකට රන්ඩු උනත් ඒවා අපි දැනගන්න කලින් යාලුයි... මේකෙන් ඉතිං කියන්න හැදුවෙ එයාල ජීවත් වෙන හැටි නෙමෙයි. අපේ තාත්ති හොද හොද වැඩ එහෙම කරල තියනවා...
තාත්තිට තියනවා පොත් සහ පත්තර තියන කඩයක්. අපේ ගෙදර ඉස්සරහමයි. මම ඉතිං පොතක් පත්තරයක් දැක්කොත් කන්න බොන්නත් ඕනි නැති කෙනෙක්. මගේ නංගි ඒකෙ අනිත් පැත්ත. පොතක් පත්තරයක් අතින්වත් අල්ලන්නෙ නෑ. ඉතින් මම ගෙදර ගිහින් ඉද්දි උදේ සේරම වැඩ තියල පත්තර ටික අරගෙන ඇවිත් කියවනවා. ඉතින් තාත්ති බනිනවා බලන්න මේ ළමය කන්නෙ බොන්නෙ මූන හෝදන්නෙවත් නැතුව කල්පනාවක් නැතුව පත්තර කියවනවා කියල. ඊට පස්සේ නංගිට බනිනවා මෙච්චර පොත් පත්තර තියනවා ආසාවට මේ ළමයා පොතක් කියවනවා මම දැකල නෑ කියල.  ඔය එකක්.
දවසක් අර ප්රසිද්ධ නිළියක් ඉන්නේ ඕෂධී හේවාමද්දුම කියල. දවසක් ඇය ඇවිල්ල කඩේට පත්තරයක් ගන්න. දැන් අපේ තාත්ති බලන් ඉන්නවලු මේ ගෑණු ළමය දිහා. එයාටත් ඉතිං විශේෂයක් නැතිව ඇතිනේ හැමෝම එයා දිහා බලන එක. පස්සෙ තාත්ති කියනවලු මම ඔයාව කොහෙහරි හොදට දැකල තියනවා, ඔයා ලොකු දුවගේ යාලුවෙක්ද නැත්නම් පොඩි දුවගේ යාලුවෙක්ද කියල, ඉතිං ඕෂධී කියනවලු "මම ඕෂධී" කියල. මොන අපේ තාත්ති දන්න ඕෂධී, ටිකකින් ඉතිං ඕෂධී සද්ද නැතිව ගියාලු. 
ඔන්න ඒලෙවල් කරන කාලේ අපේ ගෙදර නැවතිලා හිටියා මගේ හොදම යාලුවා ඉතිං තාත්තිත් හරි ආදරෙයි අපි කියන්නෙ සබී කියල. ඉතින් එයා ඒලෙවල් වලින් පස්සෙ ගෙදර ගියානෙ, දවසක් පාර දිහා බලන් හිටපු අපේ තාත්ති දුවගෙන් එනව ගෙට කලබලෙන්. අන්න සබී යනවා පාරේ එහාපැත්තෙ කියල. මමත් ඉතිං දුවන් ගියා ඉස්සරහට අපේ ගෙදර ඉස්සරහින් යද්දි මොකද එයාට එන්න බැරි කියල බලන්න. අනේ බැලින්නම් දවසක් දෙකක් අපේ ගෙදර ආපු මගේ යාලුවෙක් තාත්ති සබී එක්ක පටලගෙන.
මේකත් නම් පැටලුන කතාවක්, අපේ තාත්ති කරන්නෙ පත්තර කඩයක්නෙ, ඉතිං සමහර වයසක අන්කල්ලා ඉන්නවා උදේම පත්තරේ ගන්න ඇවිත් තාත්ති එක්කත් කදේ දාන් ඉදල යන. මයිකල් ජැක්සන් මැරුන දවසෙ ඔහොම කෙනෙක් ඉන්නවලු ඇවිත්. තාත්ති කියනවලු බලන්නකො ජැක්සන් ඇන්තනි මැරිලනේ කියල. ඔන්න ඉතිං අර මනුස්සයත් කියනවලු අනේ බලන්නකො ඉතිං වැඩි වයසකුත් නෑනේ, හොද දැනුමක් තියන නිවේදකයෙක්නේ. ඔහොම සිංහල නිවේදකයෝ දැන් කොහෙද කියල. ඔන්න එතකොට මෙච්චර වෙලා දුකෙන් ඔලුව වන වනා හිටපු තාත්ති බැලුවලු මයිකල් ජැක්සන් කවදද සිංහලෙන් නිවේදන කටයුතු කලේ කියල.. එතකොටම මතක් උනාලු අය්යෝ වැරදි නමනෙ කිව්වෙ කියල. පස්සෙ කිව්වලු නෑ නෑ මයිකල් ජැක්සන් මැරිල තියෙන්නෙ කියල.
දවසක් නංගිත් ඉන්නවලු තාත්ති එක්ක කඩේ, ආවලු රෙප් මහත්තයෙක් ඇවිත් ඇහුවලු මහත්තයා සනීපාරක්ෂක තුවා ගන්නවද කියල. තාත්ති ගත් කටටම කිව්වලු අපෝ එපා ඕව ගත්තම ගෙදරටම ඉවර වෙනවා විකුනන්න වෙන්නෙ නෑ කියල. නංගි කියනවා පොලවෙ වලක් හාරගෙන හාරගෙන යන්න හිතුනලු.
 
ඔය ඉතිං තාත්ති කරන කියන ඒවගෙන් ටිකක් විතරයි.. මේ මොනවා කිව්වත් කලත් මගේ හිතේ තාත්ති ගැන තියෙන්නෙ ලොකුම ලොකු ආදරයක්. කොච්චර උනත් අදටත් අපි ගෙදර ගියාම උදේට තාත්ති ගෙදරින් යන්න කලින් මගේයි නංගිගෙයි කාමරයට ඇවිත් අපි ලග විනාඩි 5ක් නිදාගෙනයි යන්නෙ.. තාත්ති විනාඩි 5 තමයි මගේ ජීවිතේ ගෙඩාක් ලස්සන කරන්නේ. තාමත් තාත්ති ලගට වෙලා හුරතල් වෙන්න මම ආසයි. ඔබ වගේ තාත්තෙක් ලබපු මම ගොඩාක් වාසනාවන්තයි.