Showing posts with label මේ මම. Show all posts
Showing posts with label මේ මම. Show all posts

Thursday, January 8, 2015

අම්මි කිව්වම ඇත්තටම කැතද ?

"නියම සිංහල ගෙදරක අම්මි කියල පාවිච්චි කරන්නේ නෑ" අද යාළුවෙක් එක්ක පොඩි චැට් එකක් දාගෙන ඉද්දි එයා කියපු කතාවක් මේක. ඇත්තටම අම්මි කිව්වාම අපි සිංහල නෙමෙයිද?

පොඩි කාලේ අපි වචන හුරු වෙන්නේ අම්මා තාත්තා නැත්නම් වැඩිහිටියන්ගෙන්.  එයාල කියල දෙන දේ ඇරුනාම ඉපදෙන කොට අපි වචන දැනගෙන එන්නේ නෑනේ. ඒ විතරක් නෙමෙයි අපි සිංහලද දෙමළද නැත්නම් ප්‍රංශ කතාකරන්න වෙන්නේ කියලා දැනගෙන එන්නෙත් නෑ නේ. ඒනිසා පොඩි කාලේ අම්මා තාත්තා වැඩිහිටියන් කියල දීපු විදිහට තමයි අපි එයාලව ආමන්ත්‍රණය කරන්නේ.. ඒකට ඉතින් එක පැත්තකින් අපිටවත් අනික් අතට වැඩිහිටියන්ටවත් වැරැද්දක් කියන්න බෑනේ.

එහෙම බැලුවාම ඒ යාළුවා කියපු දේ වැරදි කියන තැන තමයි මම ඉන්නේ. ඒකට හේතුව මේ ඔය කාරණාවට හිත රිදුන පලවෙනි වතාව මේක නොවන නිසා. ඉස්කෝලෙදි දවසක් යාළුවෙක් මේ විදිහටම ඇහුවා "ඇයි අනේ ඔයා අම්මි කියන්නේ? අම්මි කියන්නේ දෙමළෙන් මිරිස් ගලටලු"  ඒ වෙලාවේ එතන හිටිය සෙනගත් එක්ක මගේ ඇස් දෙකට කදුළු ආවේ ඒක වැරදි දෙයක් වගේ දැනුන නිසයි.

ගෙදර ඇවිත් මම ඒක අම්මිට කිව්වෙත් ඇස් දෙකේ කදුළු පුරෝගෙන. අම්මි හිනා වුනා විතරයි. ඒත් නංගිවත් කතා කරගෙන අම්මිව අම්ම කරන්න අපි දෙන්න සෑහෙන්න දැගලුවා.. ඒත් පුංචි කමට වෙන්න ඇති ඒක කරගන්න බැරි වුනා. අපි දෙන්නටම හිනා යන්න පටන් ගත්තා.. එතකොට අම්මි කිව්වේ පුතේ ඔයාල අම්මි කිව්වත් අම්ම කිව්වත් මං ගැන තියන ආදරේ වෙනස් වෙන්නේ නැත්නම් එච්චරයි කියලා

මම දන්නේ නෑ මේක කියවන කීදෙනෙක් මේ විදිහට කතා කරන එකට බනිනවද කියලා. ඒත් ඒ බනිද්දිම ඇයි හිතන්න බැරි එයාල අම්ම කියද්දි දෙන ආදරේම අපි අම්මි කියද්දිත් අපේ හිතේ තියනවා කියලා. මාමි, බාප්පි, අක්කි කිව්වට ඔයාල තරම්ම ආදරේ අපෙ හිත් වලත් එයාල ගැන තියනවා කියලා?

මිනිස්සු මහ පටු අදහස් තියාගෙන ඉන්න උන් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි. වෙන භාෂාවලින් අපි කතාකරන වචන වලට තියෙන්නේ වෙන තේරුමක් කියලා අපි අපේ කතාකරන වචන වෙනස් කරන්න ඕනි කියලා මම නම් හිතන්නේ නෑ.

ඒක ඒ මිනිස්සුන්ගේ භාෂාව, මේක අපේ භාෂාව, අපි අම්මි කියලා මිරිස්ගලටවත්, කුණු කූඩෙකටවත් කියන්නේ නෑනේ. ඒ වගේ තමයි අපි භාවිත කරන අසැබි වචන වෙන භාෂාවල හොද වචන විදිහට පාවිච්චි කරනවා. ඒක ඉතින් ඒ දේවල් හැදුන හැටිනේ.

මම පොඩි කාලේ ඉදන් පුරුදු වෙලා තියෙන්නේ මෙහෙම තමයි. ඒක වෙනස් කරන්න මට බෑ. කවුරුවත් කිව්වට වෙනස් කරන්න හිතන්නෙත් නෑ. ඒත් ඒක එහෙම වුනාම හිතට ගොඩාක් දුකයි. අපි හැමෝම මිනිස්සු, අපි හැමෝම තමන්ගේ අයට ආදරෙයි. ආමන්ත්‍රණයෙන් මනිනවා නම් ආදරේ ඒක වැරදි දෙයක්.

කාලෙකට කලින් මම හිරූගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දැම්මා අම්මල තාත්තලට ඔයා මෙයා කියලා කතාකරනවට මම ආස නෑ කියලා.. එතකොට ඩූඩ් අයියා දාල තිබුනා එයා නම් ඒකේ කිසි වැරැද්දක් දකින්නේ නෑ ඒකෙන් දූදරු දෙමව්පිය සම්බන්ධය වැඩි වෙනවා කියලා. හෙමින් සැරේ කල්පනා කරලා බැලුවාම ඒ කතාවත් හරි කියලා මට දැනුනා.  එතනදිත් වෙන්නේ මොන ඇමතුමක් දුන්නත් තමන්ගේ ආදරේ අනිත් අයට දැනෙන්න දෙන එක.

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
අම්මා අම්මා අම්මා අම්මා

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියාදුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ

ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

“ඔය ගීතයේ අම්මා වෙනුවට අම්මි කියලා දැම්මා නම් ඔය ලස්සන අපට දැනේවිද ? “

මේක තමයි යාළුවා අන්තිමට දාල තිබුනේ. මට දෙන්න තියෙන්නේ මෙහෙම පිළිතුරක්.

ඔයාට මේක දැනෙනවා වගේම මටත් මේ කියල තියන දේවල් දැනෙනවා.. ඒකට හේතුව මේ සිංදුවේ තියන දේවල් හැම අම්මා කෙනෙකුටම පොදු නිසා. අම්මා කෙනෙක් ගැන විතරක් නෙමෙයි ඒ වගේ තමන් ගැන බලන තමන්ට ආදරේ කරන අක්ක කෙනෙක්, නංගි කෙනෙක් වගේම බිරිදක් වුනත් ආදේශ කරගෙන සිංදුව අහන්න. ඇත්තටම කදුළු එනවා ඇස් දෙකට. ආමන්ත්‍රණයේ නෙමෙයි හැගීමෙයි තේරුම තියෙන්න ඕනි.හැගීමක් නැතුව කරන ආමන්ත්‍රණයක් හිස් වචනයක් විතරයි.


Thursday, August 15, 2013

සුභ උපන් දිනයක්..... !!!!



ගෙදර ඉන්න දුවට දරුව ලැබෙන්න අමරුවෙලා එලියට බහිද්දි මිදුලෙ තිබුන උදැල්ල හරහට වැටුනම ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තයි, ආච්චියි හොදටම බය වුනා... හේතුව දරුව හරි අම්ම හරි දෙන්නගෙන් කෙනෙක් නැතිවෙනවා කියලා සාසතරයක් අහපු වෙලාවේ කියපු කතාව නිසා...

බය දෙගුණ තෙගුණ වුනේ ඉස්පිරිතාලෙන් දොස්තරගේ තුණ්ඩුවක් නැතුව බඩදරු අම්මව බාරගන්න බෑ කිව්වාම.. ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තයි සීයයි දෙන්නම කිව්වේ අනේ අපි ඉක්මනට දොස්තරගෙන් තුණ්ඩුවක් ගේනතුරු මේ බඩදරු අම්මව වාඩි කරල තියාගන්න කියලයි.. එහෙම කියලා මේ කෙදිරිගාන අම්මව බංකුවක වාඩි කරල දෙන්න පිටත් උනා විතරයි අටෙන්ඩන් නෝනගේ ආදර වෑගෙන වදන් එලියට එන්න පටන් ගත්තා විදුලි වේගෙන්.. "සල්ලි වැඩි වෙලා වෙන්න ඇතිනේ දොස්තර චැනල් කරල බැලුවේ? ලමය ලැබෙන්න විතරක් මොන එහෙකට ආවද අපිට වද දෙන්න?"

අම්ම කෙදිරි ගානගමන් "නංගි කිව්ව නිසා ගියෙ" කියල පිට කරගත්තේ ගොඩාක් අමාරුවෙන්.. නංගි? එහෙනම් නංගිටම කියනවා ඉතුරු ටිකත් කරන්න කියලා..හා දැන් කවුද කියමුකෝ බලන්න ඔය නංගි?" නංගි තමයි ගිය සතියෙ මෙහෙන් මාරු වෙලා ගියා ඩොක්ට __________ අම්මා ඒකත් කිව්වේ අමාරුවෙන් ඉන්න කෙනාටම මෙහෙම කරන්න ඇයි කියලා හිතාගන්න බැරුව..

අනේ මිස්, ඕක කලින් කියන්න තිබුනේ නැද්ද? එන්න එන්න අපි වාට්ටුවට ඇතුල් වෙමු. මිස්ට ඕනි ඇදක් තෝරගන්න.. අපිට ඩොක්ට ගොඩාක් සලකලා තියනවා.. එහෙම එකේ අපි ඩොක්ටගේ අක්කට සලකන්නේ නැතුව කොහොමද? ඔන්න ඔහොම කියල ඇටෙන්ඩන් නෝනා මේ දරුව ලැබෙන්න ඉන්න අම්මට හොද ඇදක් එහෙම දීල තාම හැටි අමාරුවක් නෑනේ මිස්. හෙට උදේ හම්බවෙයි කියලා තමයි හිතෙන්නෙ කියල ගියෙ කරන්න පුළුවන් හැම සත්කාරයක්ම කරලයි..

අමාරුව නිසා අම්මට නින්ද යන්නෙ නෑ පලවෙනි දරුව නිසා දැන් ලැබෙයිද නැද්ද කියලා තේරෙන්නෙත් නෑ... ඔහොම ඉද්දි එහා ඇදේ කෙනා නැගිටල තට්ටුවක් දැම්ම... නැගිටින්න කියලා...අම්මත් බැරි මරගාතේ නැගිට්ටා. "එනවා නැගිටල මට කක්කුස්සි යන්න වතුර එකක් ගෙනත් දෙනවා" රකුසු වෙසක් ගත්ත කෙනා පස්සේ වැටිල යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ මනුස්සයා ගිහින් එනකන් වතුර ගෙනත් දීලා දොර ලගට වෙලා ඉදල තමයි ආපහු ඇදට එන්න අවසර ලැබුනේ..

ටික ටික එලිවෙද්දි අමාරුව වැඩි... ඒත් නංගි කිව්වේ කෑගහලා දැගලුවාම මහන්සිය වැඩි, එතකොට බබා හම්බ වෙන්නත් අමාරුයි කියන එකයි... ඒනිසා ඉවසගෙන ඉන්න වෙනවා.. එහෙම ඉවසලා පුංචිම පුංචි කෑගහිල්ලක්වත් නැතුව එලියට ආපු බබාගේ අද උපන්දිනේ...

ඔව් ඔව් බබා මම තමයි... ඉතින් කියන්න හැපි බර්ත් ඩේ කියලා... කෝ පටන් ගන්න,,,, එකායි දෙකායි තුනායි...

 

Monday, July 29, 2013

සමාවෙන්න....


ලියන්නට දහසක්
ඇතත් හිත වෙනතක්
රැදී රිදි රිදවන්
විදවමි සහසක්...

යොදුන් දුර සිතුවත
නොහැකිවම පදයක්
ගොනු කරනු බැරියෙන්
විදවමි සහසක්...

සමාවක් ඔබෙන් මම්,
ලබන්නට නැති තරම්, 
ඉක්මනින් ලියන්නම්, 
අදිටනින් කියමි මම්...

Friday, June 7, 2013

ගැහැණු අපි...


මට හිතෙනවා අපි තාක්ෂණය අතින් කොයි තරම් දියුණු උනත් සමාජීය අතින් නම් යන්නේ ආපස්සටයි කීයලා. අද මම කල්පනා කරා මිනිස්සු ගෑණු ළමයෙක් දිහා පිටින් බලලා කොයි තරම් නම් තීරණ ගන්නවාද කියලා..

උදාහරණය මම, වැඩියෙන් මිනිස්සුත් එක්ක කතා කරන නිසා හිතනවා පැන පැන කතා කරන කෝච්චියක් කියලා. එක තැනක ඉන්නෙ නැති නිසා හිතනවා මහා දැගලිලි ළමයෙක් කියලා. පිරිමි ලමයි වැඩිපුර ආස්සරය කරන නිසා නැට්ටිච්චියක් කියලා...

හුගක් අය දේවල් මූණට කියලා නෑ තමයි, ඒත් දේවල් දැනෙන්න වැඩ කරනවා. අනික සමහරු තැන තැන කියනවා.. ඒක ගොඩාක් හිත රිදෙන දෙයක්. ඒක මට දැනෙන නිසාම මම පරිස්සම් වෙනවා කෙනෙක් ගැන දැකපු ගමන් තීරණයක් නොගෙන ඉන්න..ඒත් එහෙම මම මුකුත් නොකිව්වත් අය මං ගැන වැරදි කියනවා කිව්වම රිදෙන හිත නම් ආපහු කෙනෙක් විශ්වාස කරන්නෙ පරිස්සමින්...

ප්රශ්නේ තියෙන්නෙ මට මේ දේවල් ඉක්මනට අමතක වෙනවා. මිනිස්සු මට කරේ මොනවද, එයාලගෙන් පරිස්සම් වෙන්න ඕනි කොහොමද කියන එක මට ඉක්මනින්ම අමතක වෙනවා.. අන්න එතනදි මම තවත් අමරුවේ වැටෙනවා..

මට මිනිස්සු ආස්සරය කරන එකෙන් මිදෙන්න අමාරුයි..ඉතින් ආපහු ආපහු එකම වලේ වැටෙනවා.

මිනිස්සු මගේ එක එක දේවල් වලට කැමැත්තෙන් මට ලං වෙනවා. නෑදෑයෝ යාළුවෝ මේ හැම කෙනෙක්ම මගෙන් මොනවාම හරි බලාපොරොත්තු වෙනවා.. දේ හරි ආකාරව ලබාදෙන්න බැරිවුනාම එයාල මෙච්චර කාලයක් හිතේ මං ගැන තියන් හිටපු දේවල් එලියට දානවා. සමහරු හරි සරල විදිහටත් සමහරු හරි සංකීර්ණ විදිහටත්…

මම කල්පනා කරේ එහෙම දේවල් එයාලා කරන එකෙන් මට වෙන බලපෑම එයාලට දැනෙන්නෙම නෑ නේද කියලා. සමහර විට දැනුනත් රිද්දන්න තියන උවමනාව නිසා බලපෑම අමතක කරනවා ඇති. ඒක තමයි මිනිස්සුන්ගේ තියන ආත්මාර්ථකාමීත්වය.

මනුස්සයෙක්ගේ ඇත්ත ඇති සැටියෙන් තේරුම් නොගෙන මනුස්සයව මනින්න යන එකෙන් අපි කරන්න ලොකු වැරැද්දක්. ඒක තේරෙන්න විත්තිකාර පාර්ශවය වෙලාම බලන්න වෙනවා. මමත් ජීවිතේ දෙතුන් වතාවක් විත්ති කූඩුවට නැගපු කෙනෙක්.. හැබැයි පැමිනිලි පාර්ශවයෙන් ලැබෙන සේරම චෝදනා වලට උත්තර නොබැන්දම වැරදිකාරයා  උන කෙනෙක්.. මොකද පැමිණිලි පාර්ශවය ඉක්මන් වෙන නිසා ඉන්න සේරම නඩුකාරයන් පැත්ත අරගෙන..

විත්ති කූඩුවේ හිටගෙන හිටපු මම නිකම්ම කූඩුවට දාලා..

මේ බ්ලොග් කියවන්නෙ, ලියන්නෙත් වැඩිපුර පිරිමි. ඔයාලගේ ජීවිතේත් ගැහැනු ගොඩාක් ජීවත් වෙනවා. සමහරු ගොඩාක් කිට්ටුවෙන් සමහරු සාමානය ආශ්රයෙන්.

කිසිම කෙනෙක් ගැන මතුපිටින් බලල චරිතය ගැන තීරණයක් ගන්න එපා. සමහර ඔයාලගේ තීරණ නිසා ගැහැනු ජීවිතයක් නිකරුනේ නාස්ති වෙන්න පුළුවන්.. මම කියන්නේ නෑ පිරිමි අයට අනිත් අය හිතන දෙයින් බලපෑමක් වෙන්නෙ නෑ කියලා. ඒත් සමාජයේ නිගමන වලින් පිරිමින්ට වඩා ගැහැනුන්ට වෙන බලපෑම බොහොම වැඩියි..

එක වතාවකට හරි ඔයාලා නැට්ටිච්චියෙක්, කෑල්ලක්, බඩුවක් කියලා හංවඩු ගහන කෙල්ලෙකුට, ගෑනියෙකුට ආපහු ජීවිත කාලෙම හොද ගෑණියක්, අම්මෙක් වෙන්න බැරි වෙයි.. දැනෙන පීඩනය ඔයාලගේ ජීවිත එලිය කරන්න මහන්සි වෙන ගැහැනියම විනාස කරන්න බලපානවා.. බලපෑම එතනින් නවතින්නෙ නැහැ.. ඒක ඔයාලගේ ජීවිතේටත් බලපානවා...සමහර විට ඔයාලා බලපෑම එල්ල කලේ ලඟ අහල පහල නැති පිට ගැහැනියකට වෙන්න පුළුවන්.. ඒත් ඒකත් ගෙවාගන්න බැරි පාපකර්මයක් ජීවිතයට එකතු කරගත්තා හා සමයි...

එක පාරට මේ දේවල් ලිව්වේ මම ඊයේ පෙරේදා හිත රිද්ද ගත්ත නිසා නෙමෙයි.. ඒත් කාලයකට ඉස්සර එහෙම පීඩා විදපු නිසා.. ඒත් මගේ හිත ආපහු නැගිටින්න හයියට තිබුනා.. ඒත් එහෙම නැති වුනා නම්????

එහෙනම් කියන්න තියෙන්නෙ මම මැරුන තැන්වල දැන් ගසුත් පැලවෙලා කියලා තමයි...

Tuesday, May 14, 2013

දුකින් හංදා...






බර වැඩි මට

මේ කදුළු කැට

මම ගොඩක් දුක්

විදින හංදා,

 
දිග වැඩි මට

මේ සුසුම් රැල්

තනිවෙලා මම

ඉන්න හංදා,

 
ගැඹුරු වී මගෙ

කල්පනාවන්

සියළු දේ

මතකයන් හංදා,

 
වියළිලා මගෙ

සිනාවන් අද

නුඹ ආයෙමත්

නො එන හිංදා....

 


Tuesday, April 16, 2013

කප් කේක් හදමුද?


දැන් කාලෙක ඉදන් කප් කේක් හදන්න ලොකු ආසාවක් තිබුනා, ඒත් ඉන්ටර්නෙට් එකේ තියන විදිහට ටිකක් වැඩ වැඩී වගේ නිසා වෙන කෙනෙකුගෙන් අහගෙන ගිය සිකුරාදා වැඩේ කරා,

ඔන්න ඕනි දේවල් හදන හැටි එහෙම දාන්නෙ නෑ. ඒකට හේතු තියනවා. මට අවන් එකක් නෑ ඉතින් මයික්‍රොවේව් එකේ තමයි දැම්මෙ. ඒකෙ වෙලාව එහෙම අවන් එකකට වඩා වෙනස්, අනික මට හිතෙන්නෙ නෑ හොදටම හොදයි කියලා. රහ නම් තිබුනා ඒත් සමහර හරිය තදයි වගේ කාපු අය නම් කිව්වෙ අවන් එකේ දාපු නැති නිසා කියලා.. අනික අයිසින් වලට අයිසින් සීනි ගොඩාක් දාන්න නංගි දුන්නෙ නෑ එයා සීනි කන්න ආස නැති නිසා..අයිසින් එක දැම්මෙත් ඒ කපල් එක රන්ඩු වෙවී.. ඉතින් සමහර ඒවට අයිසින් වැඩි සමහර ඒවට ඇත්තෙම නෑ.. බලන්නකෝ රසයිද කියල.. 
 
මෙන්න මෙහෙමයි පටන් ගත්තෙ...
 
 
හරියට වැඩ මෙයා..
 
 
මේ තුන්වෙනි තැටිය මම හිතන්නෙ..
 
 
ඔන්න දැන් මයික්‍රොවේව් එකේ..
 
මෙන්න ඇදුම් අන්දන්න කලින්...
 
මෙන්න අපේ ගෙදර ඉන්න උන් දෙන්නගේ වැඩ..
 
 
 
ඔන්න ඔහොමයි මම කප් කේක් හැදුවෙ... ඒක නිකන් විස්වාස කරන්න බැරිව වගේ දැන් මෙහෙට භූමිකම්පාවකුත් ආවා...බලන්න ඉතින් අහිංසක අසරණ ළමයෙකුට ස්වභාවධර්මයත් කුරිරුවෙන හැටි..