Wednesday, March 13, 2013

මගේ ඇසින් ඔය කස්ටිය.,,


මම සමාජ ඇසුරට ගොඩාක් කැමති කෙනෙක්. හැබැයි අපේ පවුලෙ අය අතරේ මම ප්‍රසිද්ධ මිනිස්සු අදුරගන්න බැරි හැමකෙනාටම රැවටෙන කෙනෙක් විදිහට. ඉතින් මට හිතුනා පුංචි වැඩක් කරන්න. මම ඔයාල හැමෝම ගැන දැනගත්තේ බ්ලොග් එක නිසානෙ, සමහරු එක්ක නම් පොඩ්ඩක් චැට් කරල තියනවා, ඉතින් මම මට ඔයාල ගැන හිතෙන දේවල් මම සටහන් කරා, මගේ බ්ලොග් එකට එන අය ගැන විතරක් නෙමෙයි, මම යන බ්ලොග් වල අය ගැනත් සමහර අය ගැන වැඩිය තේරෙන්නෙ නෑ. ඒත් මේක බලල ඔයාලම කියන්නකෝ අර පවුලේ අය කියන දේ ඇත්තද බොරුද කියල.. අනේ වැරදි නම් ඉතින් සමාවෙලා ඒක නිවැරදි කරන්න හරිද?

ඔන්න මුලින්ම මම කියන්නෙ තරු අක්ක ගැන ඒකට හේතුව කියල ඉන්නම් ඉස්සෙල්ලම, තරු අක්ක තමයි මට උදව් කරේ බ්ලොග් එක හදාගන්න මම ලියන ඒව බලන්න කවුරුත් එන එකක් නෑ කිව්වම තරු අක්කයි, නලීන් අයියයි තමයි මාව දිරිමත් කරේ.. ඒකෙනුත් තරු අක්ක බ්ලොග් එක හදල දීලා සේරම කරා. ඉතින් ඔන්න තරු අක්කේ මුලින්ම ඔයා ගැන...

තරු අක්කා,
හුගක් හිත උණුවෙන, මිතුරු ඇසුරට බොහොම  ප්‍රිය ආදරණීය කෙනෙක්. කාගෙවත් හිත රිද්දන්න කැමති නෑ. තමංගේ පාඩුවේ තමංගේ වැඩක් කරගෙන ඉන්න තමයි මෙයා කැමති. අපි වගේ හැම බ්ලොග් එකකම කමෙන්ට් නොදැම්මට ඒවා කියවලා අවැසිනම් විතරක් කමෙන්ට් කරනවා කියලයි මට හිතෙන්නෙ.

නලීන් අයියා,

මුලින්ම මම නලීන් අයියා එක්ක තමයි චැට් කරේ. නලීන් අයියා තමංගේ රාජකාරිය හරියට කරන, තවමත් තරුණයෙක් වගේ හිතෙන කෙනෙක් වගේ මට දැනෙන්නෙ, ගොඩාක් සමාජයේ වැදගත් උගත් මිනිසුන් ඇසුරෙන් ජීවිතේ නැවුම් කරගන්න කෙනෙක්. තමංගේ දරුවන්ට තියන ආදරේ හංගන්නේ නැතුව පෙන්නන අහිංසක තාත්තෙක්. කලබලයක් නැති, කවුරුවත් මුකුත් කිව්වට ඒකට රංඩුවට නොයන කෙනෙක් හැබැයි ඉදල හිටල කලහකාරී ගතිත් මතු වෙනවා වගේ..

ලිහිණි,
ඉස්සරහ ගැන ගොඩාක් හිතනවා කියල තමයි හිතෙන්නෙ. ඒත් සිතුවිලිවල මොකක්දෝ අසුභවාදී කමක් පේනවා. දක්ෂ, හිත හයිය කෙල්ලෙක්. කවුරුවත් කරල දෙනකන් බලන් ඉන්නෙ නැතුව තනියම නැගිටින්න හදන කෙනෙක්. කතා කරපු ටික දවසට දැනුනේ නම් බාහිර බලපෑම් හිතට ගන්නවා වැඩියි කියලා. තමංට කවුරුත් නෑ කියන එක ගොඩාක් හිතනවා..ලිහිණියෝ පුංචි උපදෙසක් දෙන්නම්, හැමදාම කළුවට නෑ නංගි ජීවිතේට ලස්සන එලියක් ලගදීම වැටෙයි, හැමදේකටම වෙලාව එන්න ඕනි. සුභවාදීව ඉවසගෙන ඉන්න..

ඩූඩ් අයියා,
ඩූඩ්අයියා මට දැනෙන්නේ මගේ මාමෙක් වගේ, එහෙම කිව්වෙ වැරැද්දකට උපදේසයක් දෙන්න වගේම කවටකමට අපේ තත්වෙටම වැටිල හිනාවෙන්න පුළුවන් කෙනෙක් නිසායි. සැහැල්ලුවෙන් ඉන්න තමයි කැමති, කාටවත් කරදර නොකර තමංගේ වියදමින් හිතේ සතුටෙන් ඉන්නවා. වගේම දරුවන්ට පුළුවන් තරම් ලංවෙන්න උත්සාහ කරන තාත්තියෙක්. දැනෙන විදිහට හොදම හොද සැමියෙක්. ලොකුවට ප්ලෑන් ජීවිතේ නෑ වගේ පෙනුනට ඉස්සරහ ගැන හිතල වැඩකරනවා කියල හිතෙනවා..

රජා
මල්ලියේ මට ඔයා ගැන නම් දැනෙන්නේ මගේ හස්බන්ඩගේ මල්ලි ගැන දැනෙන විදිහට,. කරන ඕනිම දඟ වැඩක් හිනාවෙලා ඉවසන්න පුළුවන් බැදීමක්. හුගක් විවෘත, හැමදේම සරලව ගන්නවා කියල හිතුවට එහෙම නැති චරිතයක්. හොද  ප්‍රේමවන්තයෙක් වෙයි කියල හිතන්න බැරි උනාට, හොද සැමියෙක් වේවි. අම්මට තාත්තට සලකන සහෝදරයට ගොඩාක් ආදරේ කරන හොද රජෙක්...

චන්දන
අම්මෝමොනවා කියන්නද මන්ද, මට හිතෙනවා සැබෑ ජීවිතේදි චන්දන ගොඩාක් නිශ්ෂබ්ද්ද කෙනෙක් කියලා. අර සමහර අය ඉන්නෙ වැඩි කතාවක් නැති උනාට දැනුමෙන් පරිපූර්ණ හොද විමසිල්ලෙන් ඉන්න අය, අන්න එහෙම තමයි මට චන්දන ගැන හිතෙන්නෙ. පිරුණු කලේ දිය නොසැලේ කියන්නේ ඒකට තමයි නේද? අනික වැඩිය තමන් ගැන කියවන්න තමන් ගැන විස්තර කරන්න කැමති නැති. ආවනම් ආව වැඩේ කරගෙන අය අහිංසක කෙනෙක්.

දුකා අයියා,
කෙලින්කතා කරන, හැමවෙලේම බොහොම උද්යෝගයෙන් ඉන්න, ගොඩාක්ම ගොඩාක් ආදරණීය චරිතයක්. සද්දේ දාල කතා කරාට වෙලාවෙම ඒක අමතක කරන කෙනෙක්.යාළුවන්ට ගොඩාක් කැමති, ඉක්මනින් මිතුරු වෙන චරිතයක්. සංගීතයට බොහොම ලැදියි. (මම හිතාගෙන හිටියෙ හොද හයේ හතරේ එක්කෙනෙක් කියලා අයියෝ නෑ චූටිම චූටි අයියෙක්)

යසිත්,
යසිත්ගැනත් පොඩ්ඩක් වැඩිපුර විස්තර මම දන්නවා, ඔන්න ඔහේ ඕන එකක් කියල ඉන්නවා වගේ තමයි දැනුනේ. හැබැයි හැමෝ එක්කම ඉක්මනට යාළුවෙනවා, සහෝදර කම, යාලුකම දැනෙන්න සලකනවා, අන්තිම මොහොතේ පාඩම් කරන හිත හොද මල්ලියෙක්..

සරා අයියා
හොද අභිමානයක් තියාගෙන ඉන්න කාටවත් නැමෙන්නෙ නැති කෙනෙක්. මයි කා මයි පෙට්රල් නිසා අනිත් උන්ට මගේ වැඩ වලින් පලක් නැත වගේ මතයක ඉන්න බව තමයි දැනුනේ. තමංට ලැබිල තියන දේවල් හැමවෙලේම අගේ කරන කෙනෙක්. මොකද පිරිමි හරි අඩුයි තමංගේ බිරිඳ වර්ණනා කරන. කියන්නේ සරා අයියා ලැබිල තියන දේවල් වලට ගරු කරන ආදරේ කරන කෙනෙක්. ටිකක් විතර තරහ යනවා වගේ.. (අල්ලන් ගහයිද දන්නෙ නෑ)

මියුරු,
දඟමල්ලක් වගේ දැනෙන්න, තාමත් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ජීවිතේ පුංචි පුංචි දේවල් වලින් සතුටු වෙන හොද කෙනෙක්. අහා තව තමන් ඉස්සර ගතකරපු ජීවිතේ මතක කෙනෙක්. සමහරු හරියට උඩින් වැටුනා වගේනෙ ඉන්නෙ ඔය රටවල් වලට.

පැතුම්,
කසාදේ අත ලග තියාගෙන බ්ලොග් කියනවා එකෙක්.. හික්ස්.. ගොඩාක් දන්නෙ නෑ ඒත් ලියන දේවල් දැක්කම හිතෙනවා හිතට එන දේවල් නිදහසේ කරල බලන කෙනෙක් කියලා.. බැන්ඳම හම්බවෙයි උඹට හිතෙන හිතෙන දේවල් කරන්න...

මල්ලියේ,එකිනෙකා හොදට හදුනගෙන ගෙවන සාර්ථක විවාහ ජීවිතේකට සුභ පැතුම්.

(මේ පෝස්ටුව ඊයේ රෑ නිදිමතේ කෙටුවේ, වැරදි ඇත්නම් සමාවෙන්න... )

තවකට්ටිය ඉන්නවා අද හවස හරි හෙට හරි මෙන්න මේ අය ගැන නදිනිට හිතෙන දේ නදී නිම්නයෙන් බලාපොරොත්තු වන්න.

හිරූ,නාඩියා, ක්සැන්ඩර්, සිරා, සිම්බා මලයා, චින්තක, සමනළී, රාජ්, කෙන්ජි, සෑමා, තොටියා, මඩිස්ස්සලේ නිශාන්, වීයා, තරියා, අකමා, මාතලන් සහ Silent Sahan. කෝරලේ මහත්තයා..
මේ අය ගැනත් ලියන්නම් ඉක්මනට...

Sunday, March 10, 2013

වෙරි වෙච්ච උන්....


මෙහෙ එන්න කලින් ලංකාවෙ මම අවුරුදු 6 ½ ක් වැඩ කරා, ලංකාවෙ ප්රධාන ආයතනයක, මට මගේ සැමි අයියා හම්බවුනෙත් ඒකෙදිම තමයි. ඉතිං ඔය ආයතනයෙන් වසරකට වතාවක් ගෙනියනව විනෝද චාරිකාවක්, (දැන් නම් ගෙනියන්නෙ නැහැ මොකද ආයතනයෙ ඉන්න සේවකයො ගොඩාක් වැඩි වෙලා නිසා)
මේ කියන සිද්ධිය උනේ මට මතක විදිහට 2008. දැන් මුලින්ම එක ශාඛාවකින් යන ගණන ගනන් හදල එයාලගෙ පවුලෙ යන අය එහෙම ගනන් හදල ඉවර උනාම තනිකඩ අයව බෙදනව එක කාමරෙකට 3 දෙනෙක් වගේ වෙන්න. ඉතිං ඔහොම බෙදද්දි මම අහුවෙච්ච ශාඛාවෙ ගෑණු ලමයි නැති නිසා මට යන්න උනෙ වෙන කට්ටියක් එක්කමමත් කැමති උනෙ එක පයින්. අපිට නවතින්න තියෙන්නෙ කණ්ඩලම හෝටලයේ
ඉතින් කණ්ඩලමේ ගිහින් තියන අයට නම් මම කියන්න ඕනි නෑනේ ඒ පෑදිච්ච පිනේ තරම. දැන් ඉතින් කොලඹ ඉදන් දුරකතර ගෙවාගෙන ගියා කියමුකෝ.. හොදටම මහන්සි, අපි ඉතින් අදාල කාමර වලට ගිහිල්ල ඇඟ එහෙම හෝදගෙන ගියා කන්න..මට හරියටම මතක නෑ ඒත් ඒ හෝටලේ කාමර තියන්නේ එක පැත්තක, අනිත් ඔය කෑම කන්න එහෙම තියෙන ඒවා තියෙන්නෙ අනිත් පැත්තෙ, ඒ හෝටලේ පිහිටීම නිසා ඒ සේවකයෝ එහෙම කියන්නෙ දඹුල්ල සයිඩ් එකයි සීගිරිය සයිඩ් එකයි කියල. අපිට දඹුල්ල සයිඩ් එකේ පලවෙනි තට්ටුවට යන විදුලි සෝපානයෙන් සීගිරිය සයිඩ් එකේ පලවෙනි තට්ටුවට යන්න බෑ. ඉතින් කාල බීල ගෑණු ලමයිනම් කාමර වලට ආවා. දැන් ඉතින් අනිත් යාලුවෝ සප්පායම් වෙලා හොදට, එක යාලුවෙක් ඉන්නවා එතන අපි එයාට නිර්මාල් කියමුකෝ.. බොනවා කියන්නෙ ඉතින් එයා ලගින් යද්දි ස්කාගාරයක් ලගින් යනවා වගේ තමයි සුවද..

දැන් බීල බීල මහ රෑ එනවලු කාමරේට යන්න.. මේක ඉතින් පුංචි පහේ හෝටලයකුත් නෙමෙයිනෙ. හොයනවා හොයනවා හොයාගන්න බෑලු කාමරේ. ඉතින් ඔන්න ඇවිදල ඇවිදලා ආවලු පිලිගැනීමේ නිලධාරීන් ඉන්න කියන්නෙ රිසෙප්ශන් ඩෙස්ක් එක ලගට. ඇවිත් කිව්වලු එතන ඉන්න සේවකයෙකුට අපිට කාමරේට යන්න ඕනි කියල.. එතකොට සේවකයා බොහොම සුහදශීලී විදිහට කිව්වලු සර්ලා ආවෙ දඹුල්ල පැත්තෙන්නෙ, දැන් යන්න ඕනි සීගිරිය පැත්තට කියලා... ඉතින් නිර්මාල් බැලුවලු ඇස් එහෙම පුංචි කරල අර සේවකයා දිහා ඊට පස්සෙ අහනවලු මෙහෙම "බස් තියෙයිද මේ වෙලාවට"



ඔන්න තව එකක් ඊට පස්සෙ අවුරුදු 2 කට පස්සෙ යද්දි .. ඔන්න දැන් ගිහින් කට්ටිය පලවෙනි දවසේ බීලා රෑ යනවලු කාමර වලට. තුන් දෙනෙක් විදුලි සෝපානය ලග ඉන්නවලු.. විදුලි සෝපානෙ ආවහම එක්කෙන්නෙක් නැගල අනිත් දෙන්නට නගින්න කල්පනාවක් නෑලු. දැන් අර නැගපු එකා උඩට යනවලු, අනිත් දෙන්න පල්ලෙහා ඉදන් කල්පනා කරනවලු අරකා කොහොමද උඩ යන්නෙ කියලා. ඊලගට ආපහු පල්ලෙහාට යනවලු. මේ දෙන්නත් ආපහු පල්ලෙහාට යනවා බලන් ඉන්නවලු...නවත්තගන්න තේරෙන්නෙත් නෑලු. කොහොමෙන් කොහොමෙන් හරි හෝටල් සේවකයෙක් ඇවිල්ල බස්සනකන් අර විදුලි සෝපානේ නැගපු අපේ ලොක්කෙක් සෑහෙන්න වාරයක් උඩට පහලට ගියා කියලා තමයි තතු දන්නෝ උදේ කිව්වෙ..

ඔය ගිය සැරේම ඔන්න දවස් 3ක් බීලා බීලා කට්ටිය උදේට කාල පිටත් වෙන්න ඕනි. ඉතින් ඔන්න උදේට කන්න යනවා.. මගේ ඉස්සරහින් ගියා වෙන යාලුවෙක්, ලොකු හයේ හතරේ මනුස්ස්යෙක්. දැන් බුෆේ එකට ඇතුල් වෙද්ද් මේ දවස් ටිකේම හිටියා ලස්සනට ඔසරිය ඇදපු ගෑණු ලමයි, අපි ඇතුල් වෙද්දිම ගෑණු දරුවා ඉතින් ලස්සනට අත් දෙක එකතු කරලා ආයුබෝවන් කිව්වා... අර මගේ ඉස්සරහින් ගියා අපේ යාලුවා හැරුනා විදුලි වේගෙන්.,"ආයෙබොන්ඩ???? පිස්සු කතා කරන්න එපා නංගි අදනම්, දවස් තුනක් තිස්සේ ඔයා කියන එක අහල බීලා බීලා ඉන්නෙ, අදවත් ගෙදර යන දවසේ සිහියෙන් යන්න ඕනි. බලපන් මචන් මෙයා ආයෙබොන්ඩලු" ඔහොම කියල අර ලමයා තක්බීර් වෙලා බලා ඉද්දි හීන් සීරුවේ බුෆේ එකට ඇදුනා...

අනේ අනිච්චං ඉතින් බිව්වම කස්ටිය පොරවල් වෙනවා කියල එයාල හිතුවට බලු වෙලා තමයි නවතින්නෙ...

Thursday, March 7, 2013

ආදරේ උණුසුම්....




නුඹේ සුසුමක පහස දරන්
උරමඩලේ හිස තියාන
කොඳුරපු අපි එකිනෙකාට
රැය උණුසුම්...
 
හීන සැබෑ නොවන තරම්
දුක් උනාට අහස තරම්
ආදරබස් දෝරගලපු
රැය උණුසුම්...
 
කෙහෙරැලිවල පහස ලබන්
නුඹ හිනැහෙන විටදි හොරෙන්
නෙතින් නෙතට කතා කරපු
රැය උණුසුම්...
 
පාන්දරින් දුක දෑසින්
නලලත සිඹ ආදරයෙන්
වෙන්වන්නට සිදුවුන
උදයත් උණුසුම්......
 

Saturday, March 2, 2013

ගෑණු ළමයි මෙහෙමයි....

පෙරේදා හවස නංගි ගියා ෂොපින්, ලගපාත තියන තැනක සේල් දාලලු, ඉතින් සේල් කිව්වම අපිට අවුරුදු වගේනේ ගන්න දෙයක් නැති උනත් යන්න හිතෙනවා.. ඒත් මටනම් ගොඩාක් දවස් ඉදල සපත්තු ජොඩුවක් ගන්න උවමනාවක් තිබුනා ඉතින් ඊයේ නිවාඩු දවසේ හවස මමත් දාගත්ත යන්න ඒත් හවුලට යන්න කෙනෙකුත් නෑ, නංගි දොස්තර ලගට යනවා කිව්වා ඉතින් ඩබල මාව සේල් එක ලගින් බස්සගෙන ගියා...



ඔන්න ඉතින් ගෑණු ලමය මුලින්ම ගියා සපත්තු තියන තැනට උවමනා දේවල් ගත්තා දැන් හරි, ඒත් මතක් උනා නංගි කිව්වා නේද ඇදුම් තියනවා ගොඩක් අඩුයි ගිහින් බලන්න කියලා, ඉතින් හෙමින් හෙමින් ගෑටුවා පැත්තට, සිංහල අය පිරිලා මෙච්චර මේ රටේ සිංහල මිනිස්සු වැඩ කරනවා කියල හිතාගන්නත් බෑ...සිංහල කියල දැනෙන අයත් එක්ක හිනාවෙවී ඇවිද්දා.. ම්ම්හ්... හිතට අල්ලන එකක්වත් හම්බවුනේ නෑ...

ඔහොම ඇවිදල ඇතිවුනා... දැන් ඉතින් යනවා කියල හිතාගෙන පල්ලෙහාට ආවහම මෙන්න තියනවා අත් ඔරලෝසු, මගේ අත් ඔරලෝසුව පරණයි අලුත් එකක් ගන්න දෙතුන් වතාවක් ආවත් බැරීඋනා... ඉතින් ඔන්න බලන්න ගත්තා අත් ඔරලෝසුවල මිල ගණන්, අම්මෝ ඊට වඩා අඩුවට ගන්න පුලුවන් ඔරලෝසු කණුවක්. ඔන්න ඒකත් අමතක කලා.. පස්සේ ඔය මොනවහරි විස්කුරුත්තමක් ගන්නවා කියලා ඇවිදිනකොට හම්බ උනා නිය ආලේපන... ගොඩාක් ආස නැත්ත් ඉදල හිටල ගානවා ඉතින් ඔන්න ගත්ත 2,3 ක්.

ඊට එහා පැත්තෙන් තියෙනවා මෙන්න හිත ඇදිල යන ආස හිතෙන දෙයක්... තමයි අර NAIL ART කියන්නෙ විදිහට හැඩ ගන්නපු කෘතිම නියපොතු. අනේ ඕක ඉතින් මගේ තිබුන ලොකු ආසාවක්. ඒත් ලංකාවෙ නම් ඕක ටිකක් ගනන්. ඉතින් මෙතන ගනන් බැලුවම වැඩිය නෑ.. දැන් ඉතින් මම තෝරනවා එක එක රටාවන්.. ඔය අතරේ ප්රශ්නයක් මතු උනා. දැන් කොහොමද මේක අලවගන්නේ... එහා පැත්තෙන් හිටිය ගෑණු දරුවෙක් ඔය උදව්වට ඉන්න..

යොමුකලා ප්රශ්නය ඇයට. විස්තර කරන්න කලින් හොදට බැලුවා මං දිහා හරියට පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ. පස්සේ  ඉතින් කියල දුන්නා මෙන්න මෙහෙමයි කියල.

වැඩර් වගේ අරගෙන ආවා ගෙදර. ආපු වෙලාවෙම ගෙදර තියන වැඩ සේරම ඉවර කරා. හොදට අතපය හෝදගෙන ඇවිත් කටත් උල් කරගෙන හයි කරගත්ත ගෙනාපු ප්ලාස්ටික් කෑලි ටික... ඔන්න ඉතින් ඔය ටික අමාරුවෙන් අලවද්දි අපේ ගෙදර ඉන්න අනිත් උන් දෙන්නට ලෝකෙ නැති ප්රශ්න.

දැන් ඔයා කන්නෙ කොහොමද හෙට ඉදන් අතෙන්?
ඔයාට ටයිප් කරන්න පුලුවන්ද ඕක අලවගෙන?
ඔයා ලියන්නෙ කොහොමද?
දිග වැඩි නැද්ද?
ගැලවෙන එකක් නැද්ද?
ලොකු අම්මියි, අය්යයි බනීද?
ගලවන්න කියයිද දන්නේ නෑ?
ස්කයිප්කතා කරද්දි පෙන්නන්න එපා හොදද

ඔන්න ප්රශ්න සහ උපදෙස්.. ඔය ටිකට උත්තර දීලා අමාරුවෙන් කෑලි ටිකත් අලවගෙන මමම තනියම හැඩ බැලුවා.. ඔන්න තියනවා පින්තූර, 






(අත නම් කැතයි . ඔය ආර්ට් එක විතරක් බලන්න ඉතින්)

ගොඩාක් දිගට තමයි තිබුනෙනම් මම ඉතින් කොටට කාපාගත්ත. ටයිප් කරන්න අමාරු උනේ නම් නෑ... අකුරු වැරදියට ගහලනම් ඔයාල කියන්නකෝ...:D