Wednesday, November 12, 2014

වසන්තය ඇවිදින්....




තනිව ගිය මග ගෙවන්නට අද තව හිතක් ඇවිදින්, 

හෙමි හෙමින් හිත වටේ පවුරක් බදිනවා සවියෙන්, 

ලබාගන්නට ලොබ බදින සිත නුඹ ගැනම රහසින්, 

පමාවී හෝ මගේ දිවියට වසන්තය ඇවිදින්....


ප : ලි : දැන් ඉතින් මේකට දහසක් කතා අහනවා කියලා දන්නවා... කැමති දෙයක් හිතාගනිල්ලා... :)

Tuesday, September 16, 2014

ඉතින් අවසර ...



සිනාසෙනවිට ආදරේ මට නොදැනි තිබුනා නොවේ..

අතැර යනවිට ජීවිතේ මගෙ නතර වූවා ඔහේ...

ඇහෙන නෑහෙන මියුරු කවිපද තනිය මැකුවා නොවේ...

ඉතින් අවසර නුඹ නැතුව මට ගමන යන්නට තියේ..
 

Saturday, October 12, 2013

අනේ පුතේ නුඹ එන්නේ නෑලු.....



 

ඇගිලි ගැන්නා මම දින සති මාස
බලන් හිටියා මම, විදින්නට දුක් නුඹ එන දාක
හීන පොදි බැන්දා මම
ආඩම්බර වෙන්න පුතු පැටියට, දුවට
අම්මෙක් වෙන්න

සේරම හීන විසිරුනා මොහොතෙන්
නුඹට එන්න වෙන්නෙ නෑලු
දරුඵල නැතිලු මගෙ
කේන්දරේ ලියවී.....

Sunday, October 6, 2013

දුක මෙතරම්...

 
 
අතරේ ජීවිත සැමරුම්
මතකය රිදවන බවනම්
දැන උන්නේ නෑ මෙතරම්
හැර ගියාම දුක කෙතරම්...

පටලා අත් වැල් සතොසින්
ගිය මග මතකද තාමත්
හැර යන බව කීවානම්
අද වෙන්නෑ දුක් මෙතරම්....

සතුටින් නුඹෙ මඟ හැමකල්
වෙන්නට පිපි මල් මාවත්
පතමින් නුඹ හට යහපත්
නවතින්නම් මෙතනින් මම්.....

Saturday, August 24, 2013

මට නමක්....



නැන්දේ මාමේ,

ඔන්න මම ආවා, ආවේ 21 වෙනිදා දවල් 12ට හරියටම. ලොකු අම්ම කලින්ම දැම්මනේ මම නිකිණි මාසේ එනවා කියලා, එතකොට සහන් මාමා මට නිකිණි කියලා නමකුත් දැම්මා... ඒත් අනේ මගේ වෙලාව බැලුවලු ආච්චියා.. එතකොට දුන්නෙ නෑලු ඒ අකුර...

ඉතින් ඔන්න මට ඉක්මනටම නමක් ඕනි.. අකුරු ටික තම ඔය පල්ලෙහා තියෙන්නේ,

ක, ග, ගො, ස, ෂ, සි, සු

හැබැයි ඉතින් අපේ අම්මට නමේ තේරුමත් ඕනිලු... ඒ නිසා නැන්දලා මාමලා නම් එවද්දි තේරුමත් එවනවද?
ඉතින් බොහොම ස්තූතියි හොදේ...


ලොකු  අම්මා කැමති නෑ මගේ පින්තූරයක් දාන්න... ලොකු වෙච්ච දවසක මම තනියම දාන්නම්කො...

Thursday, August 15, 2013

සුභ උපන් දිනයක්..... !!!!



ගෙදර ඉන්න දුවට දරුව ලැබෙන්න අමරුවෙලා එලියට බහිද්දි මිදුලෙ තිබුන උදැල්ල හරහට වැටුනම ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තයි, ආච්චියි හොදටම බය වුනා... හේතුව දරුව හරි අම්ම හරි දෙන්නගෙන් කෙනෙක් නැතිවෙනවා කියලා සාසතරයක් අහපු වෙලාවේ කියපු කතාව නිසා...

ඒ බය දෙගුණ තෙගුණ වුනේ ඉස්පිරිතාලෙන් දොස්තරගේ තුණ්ඩුවක් නැතුව බඩදරු අම්මව බාරගන්න බෑ කිව්වාම.. ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තයි සීයයි දෙන්නම කිව්වේ අනේ අපි ඉක්මනට දොස්තරගෙන් තුණ්ඩුවක් ගේනතුරු මේ බඩදරු අම්මව වාඩි කරල තියාගන්න කියලයි.. එහෙම කියලා මේ කෙදිරිගාන අම්මව බංකුවක වාඩි කරල ඒ දෙන්න පිටත් උනා විතරයි අටෙන්ඩන් නෝනගේ ආදර වෑගෙන වදන් එලියට එන්න පටන් ගත්තා විදුලි වේගෙන්.. "සල්ලි වැඩි වෙලා වෙන්න ඇතිනේ දොස්තර චැනල් කරල බැලුවේ? ලමය ලැබෙන්න විතරක් මොන එහෙකට ආවද අපිට වද දෙන්න?"

අම්ම කෙදිරි ගානගමන් "නංගි කිව්ව නිසා ගියෙ" කියල පිට කරගත්තේ ගොඩාක් අමාරුවෙන්.. නංගි? එහෙනම් නංගිටම කියනවා ඉතුරු ටිකත් කරන්න කියලා..හා දැන් කවුද කියමුකෝ බලන්න ඔය නංගි?" නංගි තමයි ගිය සතියෙ මෙහෙන් මාරු වෙලා ගියා ඩොක්ට __________ අම්මා ඒකත් කිව්වේ අමාරුවෙන් ඉන්න කෙනාටම මෙහෙම කරන්න ඇයි කියලා හිතාගන්න බැරුව..

අනේ මිස්, ඕක කලින් කියන්න තිබුනේ නැද්ද? එන්න එන්න අපි වාට්ටුවට ඇතුල් වෙමු. මිස්ට ඕනි ඇදක් තෝරගන්න.. අපිට ඩොක්ට ගොඩාක් සලකලා තියනවා.. එහෙම එකේ අපි ඩොක්ටගේ අක්කට සලකන්නේ නැතුව කොහොමද? ඔන්න ඔහොම කියල ඇටෙන්ඩන් නෝනා මේ දරුව ලැබෙන්න ඉන්න අම්මට හොද ඇදක් එහෙම දීල තාම ඒ හැටි අමාරුවක් නෑනේ මිස්. හෙට උදේ හම්බවෙයි කියලා තමයි හිතෙන්නෙ කියල ගියෙ කරන්න පුළුවන් හැම සත්කාරයක්ම කරලයි..

අමාරුව නිසා අම්මට නින්ද යන්නෙ නෑ පලවෙනි දරුව නිසා දැන් ලැබෙයිද නැද්ද කියලා තේරෙන්නෙත් නෑ... ඔහොම ඉද්දි එහා ඇදේ කෙනා නැගිටල තට්ටුවක් දැම්ම... නැගිටින්න කියලා...අම්මත් බැරි මරගාතේ නැගිට්ටා. "එනවා නැගිටල මට කක්කුස්සි යන්න වතුර එකක් ගෙනත් දෙනවා" ඒ රකුසු වෙසක් ගත්ත කෙනා පස්සේ වැටිල යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ඒ මනුස්සයා ගිහින් එනකන් වතුර ගෙනත් දීලා දොර ලගට වෙලා ඉදල තමයි ආපහු ඇදට එන්න අවසර ලැබුනේ..

ටික ටික එලිවෙද්දි අමාරුව වැඩි... ඒත් නංගි කිව්වේ කෑගහලා දැගලුවාම මහන්සිය වැඩි, එතකොට බබා හම්බ වෙන්නත් අමාරුයි කියන එකයි... ඒනිසා ඉවසගෙන ඉන්න වෙනවා.. එහෙම ඉවසලා පුංචිම පුංචි කෑගහිල්ලක්වත් නැතුව එලියට ආපු බබාගේ අද උපන්දිනේ...

ඔව් ඔව් ඒ බබා මම තමයි... ඉතින් කියන්න හැපි බර්ත් ඩේ කියලා... කෝ පටන් ගන්න,,,, එකායි දෙකායි තුනායි...

 

Monday, July 29, 2013

සමාවෙන්න....


ලියන්නට දහසක්
ඇතත් හිත වෙනතක්
රැදී රිදි රිදවන්
විදවමි සහසක්...

යොදුන් දුර සිතුවත
නොහැකිවම පදයක්
ගොනු කරනු බැරියෙන්
විදවමි සහසක්...

සමාවක් ඔබෙන් මම්,
ලබන්නට නැති තරම්, 
ඉක්මනින් ලියන්නම්, 
අදිටනින් කියමි මම්...