Friday, June 7, 2013

ගැහැණු අපි...


මට හිතෙනවා අපි තාක්ෂණය අතින් කොයි තරම් දියුණු උනත් සමාජීය අතින් නම් යන්නේ ආපස්සටයි කීයලා. අද මම කල්පනා කරා මිනිස්සු ගෑණු ළමයෙක් දිහා පිටින් බලලා කොයි තරම් නම් තීරණ ගන්නවාද කියලා..

උදාහරණය මම, වැඩියෙන් මිනිස්සුත් එක්ක කතා කරන නිසා හිතනවා පැන පැන කතා කරන කෝච්චියක් කියලා. එක තැනක ඉන්නෙ නැති නිසා හිතනවා මහා දැගලිලි ළමයෙක් කියලා. පිරිමි ලමයි වැඩිපුර ආස්සරය කරන නිසා නැට්ටිච්චියක් කියලා...

හුගක් අය ඒ දේවල් මූණට කියලා නෑ තමයි, ඒත් ඒ දේවල් දැනෙන්න වැඩ කරනවා. අනික සමහරු තැන තැන කියනවා.. ඒක ගොඩාක් හිත රිදෙන දෙයක්. ඒක මට දැනෙන නිසාම මම පරිස්සම් වෙනවා කෙනෙක් ගැන දැකපු ගමන් තීරණයක් නොගෙන ඉන්න..ඒත් එහෙම මම මුකුත් නොකිව්වත් ඒ අය මං ගැන වැරදි කියනවා කිව්වම රිදෙන හිත නම් ආපහු කෙනෙක් විශ්වාස කරන්නෙ පරිස්සමින්...

ප්‍රශ්නේ තියෙන්නෙ මට මේ දේවල් ඉක්මනට අමතක වෙනවා. මිනිස්සු මට කරේ මොනවද, එයාලගෙන් පරිස්සම් වෙන්න ඕනි කොහොමද කියන එක මට ඉක්මනින්ම අමතක වෙනවා.. අන්න එතනදි මම තවත් අමරුවේ වැටෙනවා..

මට මිනිස්සු ආස්සරය කරන එකෙන් මිදෙන්න අමාරුයි..ඉතින් ආපහු ආපහු එකම වලේ වැටෙනවා.

මිනිස්සු මගේ එක එක දේවල් වලට කැමැත්තෙන් මට ලං වෙනවා. නෑදෑයෝ යාළුවෝ මේ හැම කෙනෙක්ම මගෙන් මොනවාම හරි බලාපොරොත්තු වෙනවා.. ඒ දේ හරි ආකාරව ලබාදෙන්න බැරිවුනාම එයාල මෙච්චර කාලයක් හිතේ මං ගැන තියන් හිටපු දේවල් එලියට දානවා. සමහරු හරි සරල විදිහටත් සමහරු හරි සංකීර්ණ විදිහටත්…

මම කල්පනා කරේ එහෙම දේවල් එයාලා කරන එකෙන් මට වෙන බලපෑම එයාලට දැනෙන්නෙම නෑ නේද කියලා. සමහර විට දැනුනත් රිද්දන්න තියන උවමනාව නිසා ඒ බලපෑම අමතක කරනවා ඇති. ඒක තමයි මිනිස්සුන්ගේ තියන ආත්මාර්ථකාමීත්වය.

මනුස්සයෙක්ගේ ඇත්ත ඇති සැටියෙන් තේරුම් නොගෙන ඒ මනුස්සයව මනින්න යන එකෙන් අපි කරන්න ලොකු වැරැද්දක්. ඒක තේරෙන්න විත්තිකාර පාර්ශවය වෙලාම බලන්න වෙනවා. මමත් ජීවිතේ දෙතුන් වතාවක් ඒ විත්ති කූඩුවට නැගපු කෙනෙක්.. හැබැයි පැමිනිලි පාර්ශවයෙන් ලැබෙන සේරම චෝදනා වලට උත්තර නොබැන්දම වැරදිකාරයා  උන කෙනෙක්.. මොකද පැමිණිලි පාර්ශවය ඉක්මන් වෙන නිසා ඉන්න සේරම නඩුකාරයන් ඒ පැත්ත අරගෙන..

විත්ති කූඩුවේ හිටගෙන හිටපු මම නිකම්ම කූඩුවට දාලා..

මේ බ්ලොග් කියවන්නෙ, ලියන්නෙත් වැඩිපුර පිරිමි. ඔයාලගේ ජීවිතේත් ගැහැනු ගොඩාක් ජීවත් වෙනවා. සමහරු ගොඩාක් කිට්ටුවෙන් සමහරු සාමානය ආශ්‍රයෙන්.

ඒ කිසිම කෙනෙක් ගැන මතුපිටින් බලල ඒ චරිතය ගැන තීරණයක් ගන්න එපා. සමහර ඔයාලගේ ඒ තීරණ නිසා ගැහැනු ජීවිතයක් නිකරුනේ නාස්ති වෙන්න පුළුවන්.. මම කියන්නේ නෑ පිරිමි අයට අනිත් අය හිතන දෙයින් බලපෑමක් වෙන්නෙ නෑ කියලා. ඒත් සමාජයේ නිගමන වලින් පිරිමින්ට වඩා ගැහැනුන්ට වෙන බලපෑම බොහොම වැඩියි..

එක වතාවකට හරි ඔයාලා නැට්ටිච්චියෙක්, කෑල්ලක්, බඩුවක් කියලා හංවඩු ගහන කෙල්ලෙකුට, ගෑනියෙකුට ආපහු ජීවිත කාලෙම හොද ගෑණියක්, අම්මෙක් වෙන්න බැරි වෙයි.. ඒ දැනෙන පීඩනය ඔයාලගේ ජීවිත එලිය කරන්න මහන්සි වෙන ගැහැනියම විනාස කරන්න බලපානවා.. ඒ බලපෑම එතනින් නවතින්නෙ නැහැ.. ඒක ඔයාලගේ ජීවිතේටත් බලපානවා...සමහර විට ඔයාලා ඒ බලපෑම එල්ල කලේ ලඟ අහල පහල නැති පිට ගැහැනියකට වෙන්න පුළුවන්.. ඒත් ඒකත් ගෙවාගන්න බැරි පාපකර්මයක් ජීවිතයට එකතු කරගත්තා හා සමයි...

එක පාරට මේ දේවල් ලිව්වේ මම ඊයේ පෙරේදා හිත රිද්ද ගත්ත නිසා නෙමෙයි.. ඒත් කාලයකට ඉස්සර එහෙම පීඩා විදපු නිසා.. ඒත් මගේ හිත ආපහු නැගිටින්න හයියට තිබුනා.. ඒත් එහෙම නැති වුනා නම්????

එහෙනම් කියන්න තියෙන්නෙ මම මැරුන තැන්වල දැන් ගසුත් පැලවෙලා කියලා තමයි...

Tuesday, May 14, 2013

දුකින් හංදා...






බර වැඩි මට

මේ කදුළු කැට

මම ගොඩක් දුක්

විදින හංදා,

 
දිග වැඩි මට

මේ සුසුම් රැල්

තනිවෙලා මම

ඉන්න හංදා,

 
ගැඹුරු වී මගෙ

කල්පනාවන්

සියළු දේ

මතකයන් හංදා,

 
වියළිලා මගෙ

සිනාවන් අද

නුඹ ආයෙමත්

නො එන හිංදා....

 


Saturday, May 11, 2013

අලුත් නෑකම...

 

ඉපදුන දවසේ ඉදන්ම අපිට මේ ලෝකේ අය එක්ක නෑකම් ඇතිවෙනවා. මමත් මුලින්ම දුවෙක් උනා, ඒ එක්කම මිනිබිරියෙක්, නංගි කෙනෙක් උනා. පස්සේ කාලෙක අක්ක කෙනෙක්, ඔය අතර මට සුවිශේෂව දැනුන නෑකමක් ඇති උනා ඒ මම නැන්ද කෙනෙක් උනා. පුංචි කෙලි පැටියෙක් තමයි ඉස් ඉස්සෙල්ලම මට නැන්දා කියල කිව්වේ. එතකොට මම ඉස්කෝලේ යනවා. මට ඒ පදවිය හරිම ලොකු ආඩම්බරයක් උනා. ඔහොම ඉදල කාලේකදි පුංචි කෙනෙක් උනා, දැනට පුංචි පැටව් 11 දෙනෙකුට මම නැන්දා, පැටව් 3 දෙනෙකුට මම පුංචි වෙනවා.
 
ඔන්න දැන් කියන්න හදන්නෙ අලුත්ම නෑකම... මම පුංචි පැටියෙකුට ලොකු අම්මියෙක් වෙන්න යනවා... මගේම කියල දැනෙන මගේ පුංචිගෙ පොඩි දුවට පුංචි දූ පැටියෙක් ලැබෙන්නයි යන්නේ...
 
දැනට ටික දවසක් වෙනවා අපි මේ සුභ අරංචිය දැනගෙන, ඒක දැන්ගත්ත දවසේ ඉදන් මටත් ලොකු වගකීමක් ලැබිල වගේ, දැන් බබාගේ ඇදුම් මහන්න බඩුගන්න මමත් බර කරට දාගෙන, හැමවෙලේම බබා ආවහම අපි කරන දේවල් කල්පනා කරනවා, දුවක් කියල දැනගත්ත දවසේ ඉදන් රෝස පාට පුංචි ඇදුම් අතගගා නංගියි මමයි කඩවල් ගානේ ඇවිදින්න පටන් ගෙන...
 
පුංචි පැටිය එනතුරු ඇඟිලි ගනිනවා,
 
පුංචි දෝණි එකනම් අපි මග බලනවා. මුලින්ම පැටියෙක් ගැන දැන්ගත්තම දෝණිගේ තාත්තියි මමයි රන්ඩු උනා, තාත්ති කිව්වෙ පුතෙක් කියලා මම කිව්වා නැහැ දුවක් කියලා, ඉතින් ඔන්න අන්තිමේදි ලොකු අම්මි දිනුවා, ඒත් දැන් හරියට මම පුතෙක් කිව්වා වගේ තමයි දූ පැටියගේ තාත්ති හැසිරෙන්නෙ, අපි හැමෝටම වඩා දුවකට එයා ආසාවෙන් බලන් ඉන්නවා, අපි වටේ ඉදන් කෑගහද්දි දෝණි හරියට දගලනවලු,  එතකොට දෝණිගේ අම්මි කෑගහනවා, එපා සද්ද කරන්න මෙයා මට ගහනවා කියලා.
 
මේ සේරම සතුට ඔයා නිසා පුංචි දූ...
 
ඔයා මේ ලෝකෙට ආවහම ලොකු අම්මි පුලුවන් තරම් හොද දේවල් ඔයාට උගන්නන්නවා, ඔයාට පුලුවන් උපරිම දේ දෙනවා,ඒක මම පොරොන්දු වෙනවා,
 
ඔන්න එහෙනම් නිකිණි මාසෙදි අපේ පුංචි දෝනි එනකන් අපි මග බලාගෙන ඉන්නවා..